ඉන්ද්‍රා අධිකාරි:
පිටු 450 ක පොතක් කියවීම සඳහා මෙතෙක් කලකට මට සති 3 ක් අවශ්‍ය වී නැත. එහෙත් එය එසේ සිදු විය. මෙය නවකතාවක් නම් නොවේ. ජීවිතය පිළිබඳ නවකතා රැසකි.
මා ඉතා උවමනාවෙන් කියවූ මෙම කෘතිය පිළිබඳව කිසිදු විචාරයක් විවේචනයක් කිරීමට තරම් දැනුමක් මා සතුව නැති බව නොවලහා කිවයුතුයි. එහෙත් මෙම පොත ,ජීවිතය දෙස විමසිල්ලෙන් බලන ,වඩා යහපත් ජීවිතයක් අපේක්ෂා කරන කෙනෙකු විසින් කියවිය යුතු යැයි මම අදහස් කරමි.
වඩාත්ම ගැලපෙන්නේ තරුණ පරපුරට බවත් මම සිතමි.
….”අසමසම ජීවිතයක් “
(ළමා කාලයේදී ඔබ සිහින දුටු වැඩිහිටියා ඔබම වන්න ! )
….සමන් කළුආරච්චි නිර්මාණයක්
….සූරිය පොතක්…2025 ප්‍රථම මුද්‍රණය.
ඉතාම හරවත් පිදුමකින් පොත ආරම්භ වී ඇත. එයත් සඳහන් නොකළෝතින් යම් අඩුපාඩුවක් සිදුවන්නාක් මෙන් මට දැනෙයි.
පිදුම….
“කිසියම් දිනයක දී ඔබේම ජීවිතය
ඔබේ දෑස් අබියස දසුන් මවනු ඇත .
ඒ දර්ශනය බලා සිටින්නට තරම්
අනගි දසුනක් බවට පත් කරගන්න “
“One day your life will flash before your eyes.
Make sure it’s worth watching..”
පැරණි ජන කවියක කියන්නාක් මෙන් “උපන්නාට මේ ලොව වැනෙනවා විනා..” ලෙසින් ජීවිතය ගත නොකර රටට ලෝකයට වැඩදායී යහපත් මිනිසෙකු ලෙස දිවි ගෙවන්නට අදහස් කරන කෙනෙකුට උපකාරී වන උපදෙස්, අන් අයගේ අත් දැකීම්, ස්වභාවධර්මයේ නියමයන්, විද්‍යාත්මක සොයාගැනීම් , සමාජ සමීක්ෂණ ආදී බොහෝ දේ ගැන මෙම කෘතියේ සාකච්ඡා කෙරෙයි.
කැනඩාවේ පුස්තකාල වලට නිතර යන එන කතුවරයා,සමන් කළුආරච්චි මහතා, ඒ තුළින් උතුරු ඇමරිකාව සහ යුරෝපය ප්‍රමුඛ ලොව ප්‍රධාන පොත් සමාගම් විසින් ප්‍රකාශයට පත් කරන විවිධ විෂයයන්ට අයත් නවතම පොතපත කියවයි.

ඔහු සඳහන් කර ඇති පරිදි නවතම දැනුම, නිර්මාණශීලී අදහස්, මෑත කාලීන පර්යේෂණවල සාධනීය තොරතුරු පිරුණු ඒ දැනුම් පද්ධතිය පාඨකයා මවිතයට පත් කරන්නේය. ලෝකය දකින්නට නව කවුළු විවර කරන්නේය . පෙරදා නුදුටු විචිත්‍රවත් වූ නව ලොවකට පාඨකයා රැගෙන යන්නේය.
මේ පොතෙහි අන්තර්ගත වන්නේ එවන්වූ මහා දැනුම් සම්භාරයකින් පාඨකයන් වෙනුවෙන්ම සංක්ෂිප්ත කළ දැනුම් දෝතකි . එය පාඨක ජීවිතයෙහි තීරණාත්මක , යහපත් වෙනසක් ඇති කරනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කරයි.
පෙරවදනේ ඔහු මෙලෙස සඳහන් කර ඇත.
…. ජීවිතය ගොඩනගා ගත යුතු වන්නේ නිවාඩුවක් අවශ්‍යතාවයක් ඔබට නොදැනෙන පරිද්දෙනි….
“අප නිවාඩුවක් බලාපොරොත්තු වන්නේ වෙහෙසකාරී ජීවන රටාවකින් මිදීමටයි. නමුත් එදිනෙදා සතුටින් ජීවත් වන්නේ නම් සැම දවසක්ම නිවාඩුවක් ගත කරන්නා සේ ප්‍රබෝධමත්ව අපට දැනෙනු ඇත.”
ඒ වාක්‍යය තුළින් මා ලබාගත් අදහස එයයි.
“කාලය යනු ජීවිතයයි” යන මාතෘකාවෙන් ඇරඹී
“මේ විශ්වයේ අප කොතැනද?”
“අප කවුරුන්ද ?”
“අප සුවිශේෂී ද ?’
“ඔබ කවුරුන්ද?”
“සිතීමත් කලාවක්”
“යථාර්ථය යනු කුමක්ද?”
“පොතක් මෙන් මිනිසුන් කියවන්න”
ආදී වශයෙන් දිගහැරුම් 50 කින් සමන්විතවී අවසානයේ “ඔබ අසමසමය “යන අදහස ඔබට තහවුරු කෙරෙන මේ පොතේ ඒ හැම මාතෘකාවක්ම පාහේ තවත් අනු කාණ්ඩ ගණනාවකට බෙදා තිබේ. ඊට අමතරව බොහෝ ලිපි වලට අදාළ ඡායාරූපද සෑහෙන ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
ලෝක ප්‍රසිද්ධ චින්තකයින් තම පර්යේෂණ තුළින් සොයාගත් නියාමයන් බොහොමයක් ගැන අසමසම ජීවිතයක් කෘතියේ සාකච්ඡා වෙයි.
“…….ජීවිතයේ සතුට නිදහසේ භුක්ති විදින්නට අප අසමත් වන්නේ ඇයි ?
ඒ සතුට වෙනුවෙන් කාලය වෙන් කර ගන්නට අපට නොහැකි වී ඇත්තේ ඇයි? පිළිතුර අතිශයින් සරලය.
කාලය යනු මුදල්ය. Time is money.
එහෙත් කාලය යනු මුදල් නොවේ. කාලය යනු ජීවිතයයි.
ජීවිතය ගෙවා දැමීම සහ ජීවත්වීම යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරණාවන් දෙකකි .ඔබ අයත් වන්නේ එයින් කවර වර්ගයකටද ?”
( Do you truly live rather than exists ?)
(පිටු අංක 18. )
Hindsight Bias ( ” knew it all along ” effect)
අලුත් යමක් දැනගත් විට ඒ වනවිටත් අප සතුව ඒ දැනුමත් තිබුණු බව හෝ එසේ තිබුනේ යැයි විශ්වාස කරන්නට හෝ අපි වඩාත් කැමැත්තක් දක්වමු .මෙම ප්‍රවණතාවය හඳුන්වන්නේ මෙනමිනි.
“මං දැනගෙන හිටියා ඕක ඔහොම වෙයි කියලා”
“මං දැනගෙන හිටියා අපි පරදියි කියලා “
“මට හිතුනා ඔහොම කියාවි කියලා “
එදිනෙදා ජීවිතයේදී මෙවැනි වදන් අපට කිසිසේත්ම නුහුරු නුපුරුදු නොවේ.
“වියපත් බල්ලන්ට අලුත් සෙල්ලන් උගැන්වීමට නොහැකිය “
ඉහත කී කියමණ බොහෝ දෙනකු අසා ඇතුවාට සැකයක් නැත. එම කියමන බල්ලන් සම්බන්ධයෙන් වුවද මිනිසුන් සම්බන්ධයෙන් ද එසේමය . මිනිසුන් වියපත් වන්නට වන්නට පෙරදී තමන් විශ්වාස කළ අදහස් හා එල්බ ගෙන සිටීමේ ප්‍රවණතාවය වැඩිවන අතරම තමන්ට හුරු පුරුදු කාරණා සම්බන්ධයෙන් ගැටෙන නව අදහස් හෝ දැනුම පිළිගැනීම ඔවුන්ට වඩ වඩාත් දුෂ්කර වන්නේය.
( පිටු අංක 324 )
මෙම සටහනේ මා මුලින්ම කීවාක් මෙන් මෙම පොත වඩාත් ගැලපෙන්නේ වියපත් අයට නොව තරුණ වියේ අයටයි.
මෙය කියවන කෙනෙකුට කතුවරයා පිටු 450ක් පුරා සාකච්ඡා කර ඇති කරුණු කාරණා තම ජීවිතයට අදාළ කර ගනිමින් වඩාත් පරිණත අයෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇත.
පිටුවෙන් පිටුව, පිටුවෙන් පිටුව සඳහන් කර ඇති විමර්ශනාත්මක සහ විචිත්‍රවත් සිදුවීම්,වාර්තා,නව අදහස් අපමණ බැවින් මෙවන් සටහනකින් “අසමසම ජීවිතයක් “කෘතිය පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් මැවීමට මට කිසිසේත්ම හැකියාවක් නැත.
පොත කියවා අවසන් කළ පසු ඒ පිළිබඳව මට ඇතිවුණු හැඟීම් අනුව මේ සටහන තැබීමට සිතුවෙමි. තවත් එක පුද්ගලයෙකුට හෝ මෙය කියවිය යුතුය යන හැඟීම ඇති වූවානම් මට එය පමණි.
ස්තුතියි සමන් කළුආරච්චි මහතාට , Saman Kaluarachchi මේ දස දිගින් ගලා එන චින්තන ධාරාවන් එකතු කර පස් පියුමෙන් සුසැදි සුවඳවත් විලක් බවට පත් කළාට.
ඉන්ද්‍රා අධිකාරි-Indra Adikari





